ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේගේ ශ්‍රී වණ කැළැල් දැරීමට භාග්‍යය ලත් දේව සේවිකා, ජේසුගේ ශ්‍රී මුහුණේ ගෞරවණීය හෙලේනා තුමිය
ගරු හෙලේනා තුමිය වර්ෂ 1848 ඔක්තෝබර් මාසයේදී උපත ලබා ඇති අතර 1849 මාර්තු මස 18 වන දින බෝලවත්ත දේවස්ථානයේ දී ප්‍රසාද ස්නාපනය කිරීමේ දී “හෙලේනා” නම ලබා දී ඇත. (ප්‍රසාද ස්නාපනය කළ දින දී ඇයගේ වයස මාස 05 ක් බව බෝලවත්ත තෝම්බු පොතේ සටහන්ව ඇත) විතාන අප්පුහාමිලාගේ දොන් අන්තෝනි පෙරේරා හා අල්ගම කෝරාළලාගේ මදලේනාහාමි නොහොත් හෙළේනා හාමි යන දෙදෙනාට දාව උපන්, පිරිමි දරුවන් සිව් දෙනෙකුගෙන් ද, ගැහැණු දරුවන් තිදෙනෙකුගෙන්ද සමන්චිත පවුලේ හෙලේනා තුමිය බාලම ගැහැණු දරුවා විය.
වසර 1860 දෙසැම්බර් මාසයේදී එතුමිය, තම වැඩිමහල් සොහොයුරියන් දෙදෙනා සමග ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාදය ලැබීම හා අභිවෘද්ධි ආලේපය, අති උත්තම සෙමේරියා රදගුරුතුමන් අතින් ලබා ගත්තීය.
ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගැනීමෙන් පසු, තමා සම්පූර්ණ වශයෙන්ම ජේසුස් ස්වාමිදරුවන් වෙත කැපවීමට අතිමහත් ආශාවක් එතුමිය තුළ ඇති විය. ඉන්පසු එතුමිය දිව්‍ය සත්ප්‍රසාදය ලබා ගත් සෑම දිනකම ඇය තුළ දිනෙන් දිනම මෙම ආශාව වැඩි වර්ධනය විය.
මෙම කාලයේ බෝලවත්ත මීසම් පාලක වූයේ සිස්ටර්සන් නිකායේ පූජකවරයෙකු වූ ස්පාඤ්ඤ ජාතික ගෞ. පොරලෙන්තිනෝ ගාර්සියා නමැති සාන්තුවර පියතුමාය. එතුමා 1900 වසරේ දී ස්වර්ගස්ථ වන තෙක් හෙලේනා තුමියගේ ආත්මික අධ්‍යක්ෂවරයා වූයේය. එතුමාණන්ගේ මෘත දේහය බෝලවත්ත දේවස්ථානය තුළ භූමදාන කර ඇත.
කතෝලික ආගම අත්හැර යක්ෂ වන්දනාව තෝරා ගෙන සිටි ස්වකීය පියාගෙන් ද, වැඩි මහල් සහෝදරයාගෙන් ද, හෙලේනා තුමියට අතිමහත් වදහිංසා, පහර දීම්, ආගම ඇදහීමට ඉමහත් බාධක වැනි කටුක අත්දැකීම් නොකඩවා දිනපතා ම විඳ දරා ගැනීමට සිදු වී ඇත. එහෙත් ඔවුන් කෙරෙහි යන්තමින් හෝ කිසිදු තරහවක් හෝ අමනාපයක් නොපෙන්වමින්, එමෙන්ම කිසිදු මැසිවිල්ලක් නොදොඩා ඒ සියල්ල තමා විසින්ම විඳ දරා ගත්තාය, විශේෂයෙන් සෑම විටෙකම ඔවුන්ගේ සිත් හැරීම උදෙසා මෙම වේදනා ඔප්පු කරමින් දැඩි ලෙස යාච්ඤා කළාය.
මේ දිනවල රෝසා නමැති ඉතා දැහැමි කාන්තාවක් ගෝනාවිල වාසය කර ඇති අතර, තවත් අවිවාහක කාන්තාවන් කිහිප දෙනෙකු එක්කර ගෙන යාච්ඤා කණ්ඩායමක් මීසම තුළ සංවිධානය කර පවත්වා ගෙන යාමට ඇය මූලික වී ඇත. මෙම කණ්ඩායම මීසමේ දරුවන්ට උපදේශය ඉගැන්වීම, දිළිඳු අයට උපකාර කිරීම හා රෝගීන් බැහැ දැක යාච්ඤා කරමින් ධෛර්යවත් කිරීම වැනි කටයුතු සඳහා උපකාරීවීම ගරු පියතුමාට ශක්තියක් වීම නිසා, 1866 වසරේ දී ශාසනික නීති පද්ධතියක් සකස් කර ඒ යටතේ ඔවුන් සඳහා ගිහි පදනමක් පිහිටුවන ලදී. මෙකී කණ්ඩායමට ඇතුළත් වීමට හෙලේනා තුමිය මුල දී ඉල්ලා සිටි නැති නමුත් මෙකී කාන්තාවන්ගේ ආදර්ශමත් ජීවන චර්යාවන් නිසා, ඔවුන්ගෙන් භාවනා කිරීම හා කැප වීමෙන් හා භක්තිමත්ව යාච්ඤා කිරීම ප්‍රගුණ කළා ය. මෙවැනි ක්‍රියාකාරකම් අතරේ එතුමියගේ ස්වාමියා වූ ජේසුතුමා, ඇයගේ හෘදය තුළ නැවත නැවත හඬ නගමින් තමාගේ දුඃඛප්‍රාප්තියට පංගුකාරියක් වන ලෙසත් ඒ අනුව තමාට තව තවත් හෘදයාංගමව කිට්ටු වී තමාට අයිති වන ලෙසත් ඉල්ලා ඇත. තමාගේ ආත්මික පියාණන්ගෙන් විමසා 1868 දී හෙලේනා තුමිය ද මෙම සැදැහැවත් කණ්ඩායමට එකතු වූවාය. අති මහත් උනන්දුව හා දැඩි ලෙස මතක තබා ගැනීමේ ආශාව හා යාච්ඤා ජීවිතයද නිසාම, ඉතා කෙටිකලකින් එතුමිය ඇයගේ මෙම සහකාරියන්ට ආදර්ශමත් චරිතයක් විය.
නපුරු යක්ෂයාගෙන් පැමිණි උග්‍ර වූ දුර්පරීක්‍ෂාකාරී පහරදීම් වලිනුත්, ආත්මික අඳුරු බවේ නොඉවසුම් සහගත ක්‍රියා වලිනුත් එතුමිය මහත් සේ පීඩා විඳි අතර ඒවා සියල්ල ඉතා ඉවසිල්ලෙන් විඳ දරා ගත්තා ය. කුමන පරීක්ෂාවක් පැමිණියත්, එතුමිය ඇගේ යාච්ඤා ජීවිතය නිතිපතා පවත්වාගෙන ගියාය. වසර 1870 දී, එතුමිය මහත් වේදනාවකට පත්ව සිටිය දී, ස්වාමීන් වහන්සේ ඇගේ මනසට දර්ශනය වී අස්වසා, “නුඹ යක්ෂයාගෙන් හිරිහැර විඳින විට ද, සංකා තාපයෙන් පෙළෙන විටද මම ළඟ සිටියෙමි. මත්තටත් නුඹේ පීඩාවල දී ළඟ සිටින්නෙමි” වදාළ සේක. පසුව ඇයට තදබල උණ රෝගයක් වැළඳී අතපය පණ නැතිව සිටියදී බොහෝ දෙනා ඇය මරණාසන්නව සිටින්නී යයි කීහ. එහෙත් මේ සියලු වේදනා දෙවියන් වහන්සේට ප්‍රසන්න යාගයක් ලෙස ඇය ඔප්පු කළාය. දේව දයාව නිසා ඇය ලබන වරප්‍රසාද ගැන ඊර්ෂ්‍යා සහගත වූ අපාගත සතුරා නොයෙකුත් ක්‍රම වලින් ඇය නොමගයැවීමට උත්සාහ දැරීය. වරක් ඌ ඈට මුද්දක් පෙන්වා, “නුඹ මෙය පැළඳ ගෙන මට අයිති වෙයන්නැයි” ඇවිටිල්ලෙන් ඉල්ලා සිටියේය. ඒ උපාය නිෂ්ඵල වූ විට ඈට හොඳටම තළා පෙළා ඌ පලා ගියේය. 1870 ඔක්තෝබර් 12 වැනි දින “මගේ උරුමය භුක්ති විඳින්නැ යි” ස්වාමීන් වහන්සේ ඇයගෙන් ඉල්ලා ඇත. එතැන් සිට ඇයගේ හෘදය ආයුධයක් සිදුරු කළාක් මෙන් ද හිස පිට කටු ඔටුන්නක් සවිකළාක් මෙන් ද හැඟුණි. එයින් තද ශාරීරික වේදනාවක් ද ඇති විය. දින ස්වල්පයක් ගත වූයෙන් නළලෙහි ද, දකුණු ළයෙහි ද ලේ බිංදු කිහිපයක් දක්නට ලැබිණ.
1870 නොවැම්බර් මස 08 වන දින දේවස්ථානයේ සිට ගෙදර යනවිට සර්පයෙකු විසින් දෙවැනිවරටත් ඇයගේ දකුණු පාදය දෂ්ඨ කරන ලදින් ඇය සිහි නැතිව ගොස් මරණාසන්න වූවා ය. මෙහිදී ද ඇය යක්ෂ බලයෙන් මතුරාපු තෙල්, මන්ත්‍ර බලයෙන් විෂ බැස්සීම ප්‍රතික්ෂේප කල විට වටේ සිටි අය එතුමිය මරණයට පත් වූයේ යැයි සිතමින් සිටින විට පියතුමා පැමිණ අන්තිම ආලේපය දී ටික වේලාවකින් ඇයට සුවය ලැබුණේ ය. එවිට ඈ මේ දර්ශනය දුටුවාය. ජේසුස් ස්වාමිදරුවෝ රජෙකු මෙන් ඇයට වද දුන් යක්ෂයාට පළා යන්නට අණ කළ සේක. ඉන්පසු උන්වහන්සේ ඈ අතින් ඔසවා නිරා මෘගයා පයින් පාගන්නට ඇයට වරය දුන් කළ ඌ ඇගෙන් ඈත් වීමට අවසර ඉල්ලා කන්නලව්කර වහා පලා ගියේය.
1870 දෙසැම්බර් 8 වනදා සිට, සෑම බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනකම කස පහර විඳීමේ සිට කුරුසියේ ඇණ ගැසීම දක්වා සියලු වද වේදනා විඳ දරා ගත් අතර පියෙවි ඇසට පෙනෙන පරිදි අත්වලද, පාද වලද, පපුව ප්‍රදේශයේද වශයෙන් ස්වාමීන් වහන්සේගේ වණ කැළැල් පහ දර්ශනය විය. (තවද අප සතුව ඇති අපට ලැබුණු ලිඛිත සාක්ෂි අනුව, එතුමියගේ උරහිස්වල බරවූ කුරුසිය ගෙන යාම නිසා හම ගැලවී වණ කැළැල් ද කටු ඔටුන්න නිසා හිසේ වණ කැළැල් ද, කස පහරවල් විඳීම නිසා පිට පුරා වණ කැළැල් රාශියක්ද තිබුණු බව 1872 කුරුණෑගල වෛද්‍ය පරීක්ෂණයේ දී ඊට සහභාගි වූ මාරි ජොසපින් නමැති ප්‍රංශ ජාතික ශ්‍රේෂ්ඨ මව්තුමිය ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කර ඇත.)
මෙසේ දුක් විඳින අවස්ථාවන් හිදී අප ස්වාමීන් වහන්සේ එතුමිය සමඟ ඉතා සමීපව කටයුතු කර ඇති බව එක් දිනක්වත් පාසලකට නොගිය ඇය හට යුරෝපයේ සිද්ධීන් ගැන කිතුනු සභාවට ඉදිරියේ දී විඳීමට සිදුවන භයානක අනතුරුගැනත් කලින් අනාවරණය කිරීමට හැකි වීම මඟින් මනාව ඔප්පු වේ. ඉවසිල්ලෙන් වේදනා විඳ දරා ගන්නා ලෙස පවසමින් දේව මාතා වහන්සේ ඇය සංසිඳුවා ඇති අන්දම පුදුම සහගතය. අප කතෝලික සභාවද විනාශ කරමින් මහා විප්ලවයක් ඉදිරියේ සිටි, තම උපන් දේශය වූ ස්පාඤ්ඤය ගැන යාච්ඤා කරන ලෙසත් වේදනා ඉවසිල්ලෙන් විඳ දරා ඒ සඳහා ඔප්පු කරන ලෙසත් අවිලාවේ තෙරේසා තුමිය එතුමියගෙන් ඉල්ලා ඇත.
1872 මාර්තු 12 දින සිට ඇය පිළිබඳ ව ද්විපාර්ශවීය පරීක්ෂණයක් කුරුණෑගල ශු. පවුලේ කන්‍යාරාමයේ දී පැවැත්විය. මෙහි කිතුනු ශාසනික පරීක්ෂණය ක්‍රිස්ටෝපර් බොන්ජින් රදගුරුතුමා විසින්ම ද, වෛද්‍ය ශාස්ත්‍රමය පරීක්ෂණය M.D.(St. Andrews), M.R.C.S.(Eng.), L.S.A.(Lond) වැනි වෛද්‍ය උපාධි රාශියක් ලත් ඉතා පළපුරුදු රජයේ විශේෂඥ වෛද්‍ය ඩබ්. ඩයස් දොස්තර මහතා විසින්ද පවත්වා ඇත. පුදුමය නම්, ඩයස් දොස්තර මහතා රෝමානු කතෝලික නොවන ප්‍රොටෙස්ටන්ට් ආගමිකයෙකු වූවත් “හෙලේනා තුළ කිසිදු වංචනික බවක් හෝ වෙනත් අසාමාන්‍ය ක්‍රියාවක් නැති බවත්” සහතික කරනු ලැබීමයි.
එතුමිය විඳ දරා ගත් සියලු වද වේදනා ශුද්ධ වූ සභාවේ පැවැත්ම හා ධාර්මික වැඩි වර්ධනය උදෙසා මහත් ප්‍රීතියෙන් ඔප්පු කළ අතර විටින් විට වඳ වේදනා විඳිමින්, පාසල් ළමුන්ට ආගම ඉගැන්වීම, ආගම ඇදහීමට උදාසීන කතෝලිකයින් බැහැදැකීම, එවැනි බොහෝ දෙනා ආගම ගැන නැවත කියා දී යහ මගට ගැනීම, දිළින්දන්ට හා වියපත් අසරණුන්ට පිහිට වෙමින් එතුමියගේ මරණය දක්වා කාලය ඉතා යහපත්ව ගත කර ඇත. එතුමිය වසර 82 ක් ආයු වළදා 1931 පෙබරවාරි මස 08 දින ස්වර්ගස්ථ වූ අතර මෘත දේහය දේවස්ථානය තුළ පුරා එක් දිනක්ම ජනතා බුහුමන් සඳහා තබා පූජා ප්‍රසාදීන් වහන්සේලා රැසකගේ ද, කන්‍යා සොහොයුරියන් ඇතුළු අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් ද පෙබරවාරි 10 දා ගෝනාවිල කතෝලික සුසාන භූමියේ මිහිදන් කරන ලදී.
දිව්‍ය කුමාරයාණන්ගේ දාසිය වන හෙලේනාගේ කීර්තිය පිළිබඳ යම් වන්දනීය දේවාභිප්‍රායක් වේද එයම සිදු වේවායි බැති සිතින් ප්‍රාර්ථනා කරමු.
පසුවදන් :
මෙහි අඩංගු වන සියලු කරුණු හලාවත ප්‍රථම රදගුරු ස්වර්ගස්ථ අති උතුම් එඩ්මන්ඩ් පීරිස් හිමිපාණන් විසින් ලියා 1945 දී ප්‍රකාශිත “හෙලේනා චරිතය” පොත ඇසුරෙනි. “ගැමියන්ගේ ඕපාදූප හෝ මනඃකල්පිත සිතුවිලි අනුව ගොඩ නගා ගත් ඒවා අනුව නොව, තවමත් ඉතිරිව ඇති ඉතා වැදගත් ලිපි ලේඛණ අනුව ඉතා කැපවීමකින් සොයා බලා” ඒ අනුව සකස් කර ලියන ලද්දක් බව එතුමාණෝ එම පොතේ පෙර වදනේ සටහන් කරති. විශේෂයෙන් හෙලේනා තුමියගේ ආත්මික පියාණන්වූ පොරලෙන්තිනෝ ගාර්සියා පියතුමා එතුමාගේ දින පොතේ (1869 ජනවාරි – 1897 ජූලි) එතුමිය පිළිබඳ සෑම සිද්ධියක්ම පැහැදිලිව සටහන් කර ඇත.
පසුවදන් :
මෙහි අඩංගු වන සියලු කරුණු හලාවත ප්‍රථම රදගුරු ස්වර්ගස්ථ අති උතුම් එඩ්මන්ඩ් පීරිස් හිමිපාණන් විසින් ලියා 1945 දී ප්‍රකාශිත “හෙලේනා චරිතය” පොත ඇසුරෙනි. “ගැමියන්ගේ ඕපාදූප හෝ මනඃකල්පිත සිතුවිලි අනුව ගොඩ නගා ගත් ඒවා අනුව නොව, තවමත් ඉතිරිව ඇති ඉතා වැදගත් ලිපි ලේඛණ අනුව ඉතා කැපවීමකින් සොයා බලා” ඒ අනුව සකස් කර ලියන ලද්දක් බව එතුමාණෝ එම පොතේ පෙර වදනේ සටහන් කරති. විශේෂයෙන් හෙලේනා තුමියගේ ආත්මික පියාණන්වූ පොරලෙන්තිනෝ ගාර්සියා පියතුමා එතුමාගේ දින පොතේ (1869 ජනවාරි - 1897 ජූලි) එතුමිය පිළිබඳ සෑම සිද්ධියක්ම පැහැදිලිව සටහන් කර ඇත.